Friday, August 31, 2018

හොර සල්ලි

## නැව් කථා 3 ##
නැව් කථා ලියූ කාල පරාසය ලග වැඩිඋවත් අද මේ කතන්දරය ලියා දමන්නට සිතුනේ අද දින අප චීනයෙන් පිටවීමට ඇති නිසාය.අපගේ ගමනාන්තය වන්නේ සවුදි අරාබියේ වරායකි. මහ මුහුදට ගිය පසු මුහුණු පොතට එබෙන්නට නොහැකිය.අන්තර්ජාල පහසුකම් ලබාගන්නේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ බැවින් මිල ඉතා අධිකය.ඉදින් අනිත් සියලුම ඇප් ඩිසේබල් කර ඉමෝවෙන් පමනක් නිවෙස්වලට කථා කිරීමට අප සියලු දෙනා හුරුවී ඇත.

    සවුදිය බලා ගමන් මගේ අපහට බාධක දෙකක් මුණගැසේ.ඉන් පළමුවැන්න මේ දිනවල තායිවාන මුහුදේ ඇති ""මාරියා "" සුලි කුණාටුවයි.දෙවැන්න නම් රතු මුහුදු සීමාවේ ඇති සෝමාලි මංකොල්ලකරුවන්ගෙන් ඇති තර්ජනයයි.එයට විසදුමක් ලෙස ගාල්ල වරායෙන් සන්නද ආරක්ෂක භටයන් කිහිපදෙනෙක් නෞකාවට ගොඩ වනු ඇත.

      නැව් කථාවෙන් අද කියන්නට සැරසුනේ වෙනත් නෞකාවක ලාන්කික නැවියකුට සිදුවු
අසා ඇති සිද්ධියකි.නයිජීරියාවේ ප්‍රධානම වරාය වන්නේ ලාගෝස් වරායයි. නයිජීරියාවේ පමනක් නොව බොහෝ අප්‍රිකා රටවල යාත්‍රා කිරීම බොහෝ කරදර සහිත කටයුත්තකි.ඒ ගැන සමූහයේ ඇති නැවියන් සාක්ෂි දරනවා ඇත.ලාගෝස් වරාය තුලදී බොහෝ වෙලදුන් නෞකාවට ගොඩවේ.අත් ඔරලෝසු, ලැප්ටොප්,අයිවරි ආදී මෙකී නොකී බොහෝ දේ රැගත් ඔවුන් ඒවා විකුණන්නේ කන්ටේනර් වලින් පැන්නූ හොර බඩු ලෙසිනි.
 
    ලැප්ටොප් එකක් රැගෙන ඇති වෙළෙන්දෙකු එය ඩොලර් 500ක මුදලකට විකුනා ඇත.ඒ කාලයේ ලැප්ටොප් යනු මිල අධික භාණ්ඩයකි. පරිගණකය කිසිම දෝෂයක් නැත.පරිගණකය විකුනා පිටව ගිය වෙළෙන්දා පැයකින් පමණ පසු කලබලයෙන් නැවත පැමිණි ඔහු පවසා ඇත්තේ රේගු නිලධාරීන් නෞකාව පරීක්ෂා කිරීමට එන බවත් හොරබඩුවක් වූ පරිගණකය ඔවුන්ට හසූවූවොත් ඔහුට ප්‍රශ්නයක් වන නිසා නැවත එය ලබා දෙන ලෙසත්ය.අප්‍රිකානු වරාය නිලධාරීන් ගැන හොදින් දන්නා නාවිකයාද පරිගණකය නැවත භාරදී ඇත්තේ මුදල්ද නැවත ලබාගනිමිනි.පසුව හෙළිවී ඇත්තේ වෙළෙන්දා නැවත ලබා දී ඇත්තේ හොර ඩොලර් නෝට්ටු බවයි.එවිට අශ්වයා පැනගොස් අවසන්ය.

  පහත ඡායාරූපයේ ඇත්තේ දකුණු අප්‍රිකාවේ රිචර්ඩ්ස් බේ වරාය ආසන්නයේදී රලු කාලගුණය නිසා ගිලී ගිය එම්.වී ස්මාර්ට් නම් නෞකාවයි.ඉන්දීය කාර්යමණ්ඩලයක් සේවයේ යෙදී සිට ඇති අතර සියලු දෙනා නිරුපද්‍රිතව බේරාගෙන තිබුණි.

Tuesday, August 28, 2018

උඹලා මුහුදෙදි මැරුනොත් මුහුදට දානවා කියන්නේ ඇත්තද බං


මිතුරන් මෙසේ ඇසූ අවස්ථාද නැත්තේම නැත.අපගේ ගමන් සමහරක් ඉතා දීර්ඝය.උදාහරණයක් ලෙස අපගේ ඊලග ගමන වන්නේ සවුදි අරාබියේ සිට එක්සත් ජනපදයේ   පෝට්ලන්ඩ් වරායයි.වේගය පැයට නාවුක සැතපුම් 13 ක් වන අපගේ සාමාන්‍ය වේගයෙන් ගනන් බැලූ කල ගතවන කාලය දින 42 කි.මෙවන් ගමනක් අතරතුර හදිසි අනතුරක් හෝ මරණයක් සිදුවුවහොත් සිදුවෙන්නේ කුමක්දැයි ඔබට සිතෙනු ඇත.සමූහයේ ඇති නාවික සොහොයුරන්ට. සමහර විට මේ ගැන අත්දැකීම් ලැබී ඇතැයි සිතමි.
  
  මරණයක් සිදුවුවහොත් නෞකාව ආසන්න වරායකට හරවා සිරුර ඒ රටේ සිට ලංකාවට එවීමට කටයුතු සිදුකෙරේ.ලගම වරායකට හැරෙව්වත් ඒ සදහාද දින ගනන් ගතවේනම් නෞකාවේ ආහාර ගබඩා කරන ශීත කාමරය තුල සිරුර තැන්පත් කර රැගෙන ඒම සිදුකරයි.

 මා දන්නා කිහිප දෙනෙකුම නෞකාවන් තුල මියගොස් ඇත.මා සේවය කරන සමාගමේ නෞකාවක සේවයේ නිරතව සිටි යුක්රේන ජාතික ඉන්ජිනේරුවකු හර්ධයාබාධයක් නිසා මියගොස් තිබුනේ ඔහුගේ සේවා කාලය නිමවා ඊලග වරායෙන් නිවස බලා යාමට සූදානම්ව සිටියදීය.ඔහුගේ දේහය පිලිපීන වරායකදී ගොඩබිමට බාරදී යුක්රේනය බලා යවා තිබුනි.

    පෝලන්ත ජාතික කපිතාන්වරයෙකු යටතේ මම එක් නෞකාවක කලක් සේවය කලෙමි.ඉතා ගුණ යහපත් පුද්ගලයෙකු වූ ඔහු හට ලාන්කික කාර්ය මණ්ඩලය දැඩි කැමැත්තක් දැක්විය.නමුත් ඔහු දැඩි ලෙස මත්පැන් පානය කලේය.සමහර දිනවල ඔහු දින දෙක තුනක් ආහාර පවා නොගෙන බීමතින් කාලය ගත කලේය.සෙනසුරාදා දිනක දිවා ආහාරයෙන් පසු කැබින් එකට ගිය ඔහු ඉන්පසු කිසිවෙකු දැක තිබුනේ නැත.පසුදින ඉරිදා නෞකාවේ නත්තල් සාදය යෙදී තිබුනු අතර නැවේ ප්‍රධාන නිලධාරීවරයා ඒ සදහා කපිතාන්වරයා සොයා ඔහුගේ කැබින් එකට ගියත් ඔහු එහි සිට නැත.ඉන්පසු කාර්ය මණ්ඩලය නෞකාව පුරා ඔහු සොයා බැලුවත් ඔහු හමුවී නැත.ඉන්පසු නෞකාව නැවත ආ ගමන් මගේම හරවා පැය හයක් ආපසු ගමන් කර සෝදිසි කලත් මුහුදේදී හෝ ඔහු පිලිබද හෝඩුවාවක් ලැබී නැති අතර නෞකාව නැවත ගමනාන්තය වූ ජපානයට යාත්‍රා කොට තිබේ.නිගමනය වූයේ ඔහු මුහුදට පැන සියදිවි නසාගන්නට ඇති බවය.අදටත් ඔහුගේ සිරුර හමුවූයේ නැත.

  කැනඩාවේ වැන්කුවර් වරායේ දී අප සහෝදර තරුණ ශ්‍රී ලාන්කික නැවියෙකු සියදිවි හානි කරගත්තේය.ඔහු සිරුර නෞකාවේ තීන්ත ගබඩාව තුල ලණුවකින් එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත.ඔහු මියයද්දී නෞකාවේ සිටි කපිතාන්වරයා මා හට පසුකලෙක වෙනත් නෞකාවකදී හමුවිය.ඔහු පෝලන්ත ජාතිකයෙකි.ඔහු මා සමග පැවසුවේ එම නාවිකයා ඔහුගේ දිවිය තුල මුණගැසුණු ඉතාමත් හොද නාවිකයෙක් බවත් ඔහුගේ මරණය තවමත් කම්පනයෙන් සිහිකරන බවත්ය.ඔහු මියයාමට ප්‍රථම ලියූ ලිපියක් තවමත් එම කපිතාන්වරයා අත ඇත.ඔහුගේ සිරුර මාසයකට පමන පසු ලංකාවට එවා තිබින.

   දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරායේදී නෞකාවේ කන්ටේනර් සුරක්ෂිත (lashing) කරමින් සිටි වරායේ සේවකයකු නැව් තට්ටුව ( Deck)මත මියගියේ හදිසි අනතුරකිනි. කන්ටේනරයක් සහ නෞකාවේ දොඹකරයක බදට සිරවූ ඔහු මියගියේ විනාඩි පහලොවක් පමන නැව් තට්ටුව මත පන ඇදීමෙනි. ප්‍රථමාධාර දීමට ඔහු ලගට නෞකාවේ කාර්ය මණ්ඩලය ගියත් එයට වරාය සේවකයන් ඉඩ ලබා දුන්නේ නැත.ඒ එච්අයිවී සම්ප්රේක්ෂනය වේ යැයි බිය නිසා විය හැකිය.මියගිය ඔහුගේ සිරුර නැව් තට්ටුව දිගේ ඇදගෙන ගිය ඔවුන් ගිලන්රථයක් එනතුරු පැයක පමණ කාලයක් සිරුර ජැටිය මත බිම දමා තිබුනි.ඔවුන් එම සිරුරට සැලකූ ආකාරය ගැන මට දැනුනේ දැඩි කම්පනයකි.

 නාවිකයන්හට අසනීප හෝ අනතුරක් සිදුවූ විට ප්‍රතිකාර සදහා කාමරයක් ( Hospital) නෞකා තුල ඇත.එය ඇදක් හෝ දෙකක් සහිත කාමරයකි.ඖෂධ ද එහි ඇත.සෑම නාවිකයෙකුටම ප්‍රථමාධාර පිලිබද පුහුණුවක් සහ සහතිකයක් ඇති අතර එය සෑම වසර තුනකට වරක්ම යාවත්කාලීන කලයුතුය.ඖෂධ සහ ප්‍රතිකාර පිලිබද දැනුමක් ඇති නිලධාරියෙකු නෞකාවේ ඇත.වැඩිදුර ප්‍රතිකාර ඇවැසි නම් ගොඩබිම සිටින වෙද්යවරයෙකු රේඩියෝ මගින් අමතා උපදෙස් ලබා ගනී.ගොඩබිමකට ලගාවූ පසු වැඩිදුර ප්‍රතිකාර සදහා වෙද්යවරයකු වෙත හෝ රෝහලකට යවනු ලැබේ.අසනීප උත්සන්න වී ගොඩබිමකට ලගාවීමකට පෙර මියගිය නැවියන් දෙදෙනෙකු පිලිබද මතකයේ ඇත.

 බ්‍රසීලයේ විටෝරියා වරයේදී වරෙක අප නැන්ගුරම් දමා තිබුනි. එහිදී කොලබ පිහිටි අප සමාගමෙන් ලැබුනු පණිවුඩයකින් කියවුනේ අපගේ සහෝදර නැවියකුගේ මව මියගිය පුවතයි.නෞකාව වරායේ තිබූ නිසා නෞකා සමාගම විසින් ක්ෂණිකව සියලු කටයුතු පිළියෙල කර නාවිකයාව නිවස බලා යැවුවේය. නෞකාව මුහුද මැද තිබුනානම් ඔහුට ඒ සදහා අවස්ථාවක් ලැබෙන්නේ නැත.
 මා ඔබට කිව්වේ නාවික දිවියේ බොහෝ දෙනෙකු නොදන්නා පැතිකඩකි.

මල ගිය ඇත්තෝ

දග කරන ඒ හූනො දෙන්නා
වහලෙ ලීයක රග දුනී
දුක පිරුණ ඒ අදුරු ලෝකෙට
මසිත මොහොතින් ඉගිලුනී

ලෑලි ගෙදරක වෙරල අද්දර
උන්නු දෙන්නා පණ වැනී
කාසි කොල අඩ දබර වෙනකොට
කැදලි කැඩිලා ඉගිලුනී

ඇදි කැඩුණු ඇද ලෑලි
දුන්නු මරහඩ නැවතුනී
මතක පොත මගෙ බිද දමා
මහත්තයා බෙරිහන් දුනී

තෝ මැරිලා වගේ යකෝ.අපරාදෙ පන්සීය

ඇත්තමයි මහත්තයො
ඇවිද්දට වැනි වැනී
උපන් දා සිට තවම  අපි
පණ ගැහෙන වගේ මල මිණී. ........

Sunday, August 26, 2018

නිවාඩුව

දවසක නිමාව උඹලට හරිස්චන්ද්‍ර උනාට අපේ ස්ටෝරිය වෙනස්ය 😑
කථාව ඇරඹුනේ ස්පාඤ්ඤ මිදි යුෂ බෝතල් කිහිපයකිනි.
කථාවේ මැද හරියට උත්තේජනය ඕස්ට්‍රේලියානු බීර  වලිනි.
කථාව අමුම අමු සින්හලයකු වූ මම ,යුරෝපීය ජාතිකයන් දෙපලක් සහ අපේ එවුන් හතරදෙනෙකුය.

ඉතින් ඒක  අන්තර්ජාතික ස්ටෝරියකි.

ඌ නිවාඩුවට ගෙදර යන්නට ලගය

"So how are you going to spent your vacation bro?"

ඒ ප්‍රශ්නය මගෙන් සුද්දාටය. .

Now in Europe the weather is shit. Raining all day.it's very good though.
Because I already orderd some sativa (සතීවා යනු මොනවාදැයි නුඹලා දන්නවා ඇතැයි සිතමි )from Netherlands. So me and my girlfriend will smoke everyday and have some fun.when winter comes we will go to Austria for ice skating.will be fun.

ලංකාවෙ උන් දෙන්නෙකුත් හිටියා.මම ඇහුවා තොපි මොකද කරන්නෙ නිවාඩුවට ?
අයියේ ගේ හදනවා.ස්ලැබ් එක දාගන්න ඕන.පොඩි එකා ස්කෝලේ දාගන්න දුවන්න ඕන.
ටයිල් ටික ගන්නත් ඕන.අලුතෙන් කඩයක් හදනවා.ඒකෙ වැඩ කෝටියයි.වත්ත සුද්ද කරලා පොල් පැල ටිකක් හිටවන්නත් හිතන් ඉන්නවා.ගිහින් පොඩි බිස්නස් එකක් පටන්ගන්නත් ඕන.

උන්ගෙයි අපෙයි නිවාඩුව.😀😀
(ඉන්ගිරිසිය ගැන කමා කරන්න.)

ඒඩ්න් මුහුදේ අප රකින ශ්‍රීලාංකික රණවිරුවෝ

ජෝර්දාන් වල අඛබා වරාය තමයි අපේ නැවතුම්පල මේ ගමනේ.කටාර් වල රස්ලෆාන් වරායෙන් සල්ෆර් මෙට්‍රික් ටොන් 35000 ක් අරගෙන මේ ගමන ආවේ මුහුදු කොල්ලකරුවන් ගැවසෙන ඒඩ්න් මුහුදු මග අතරින්.ඒකට ආරක්ෂක පියවරක් විදියට ආරක්ෂක භටයන් තිදෙනෙක් නෞකාවට ගොඩවුනේ අතරමගකදී.ඒ තුන් දෙනාගෙන් දෙදෙනෙක්ම ශ්‍රී ලාන්කිකයන් වීම ඇත්තෙන්ම සතුටු දැනුන දෙයක්.එයින් එක් අයෙක් විශේෂ බලකායේ පලමුවන රෙජිමෙන්තුවේ විශ්‍රාම ගිය සොල්දාදුවෙක්.කොහොම උනත් කරදරයකින් තොරව අපි ගමනාන්තයට ලගා උනා.අඛබා වරාය හරි අපූරුයි.ඒ දේශසීමා හතරක්ඒ ආසන්නයේදී දකින්න පුලුවන් වීම නිසායි.සවුදිය,ඊජිප්තුව,ඊශ්‍රායෙලය ජෝර්දානය  ඒ රටවලුයි.

   බටහිර සිනමාව ඔබ ප්‍රිය කරනවානම් සමහර විට ඔබ the deadly voyage සිනමා පටය බලලා ඇති.සත්‍ය සිදුවීමක් ඇසුරින් නිපදවා ඇති කථාව බලලා නැත්නම් බලන්න.මම මේ විස්තර කරන දේ ගැන ඔබට වැටහීමක් එයි. කොල්ලකරුවන් වගේම නෞකාවලට තියෙන තවත් කරදරයක් තමයි අනවසරයෙන් නෞකා වලට රින්ගා සැගවී වෙනත් රටකට සංක්රමණය වෙන්න උත්සාහ දරන මිනිස්සු.stowaway.මේ ප්‍රශ්නය දරුණුවටම තියෙන්නේ අප්‍රිකානු රටවල් වලයි.කිහිපවතාවක්ම අපි මේ අත්දැකීම විදලා තියෙනවා.

එක සැරයක් ද.අප්‍රිකාවේ ඩර්බන් වරායෙ අපි බඩු පටවමින් හිටියා.මොකක්ද හේතුවකට අපි වරායෙන් එලියට ආවා දවස් දෙකකින් ආයෙත් වරායට යන්න.ඔය අතරේ නැවේ (aft)පිටුපසින් නෞකාව ගැටගහලා තිබුන කබ දිගේ එල්ලිලා හොරෙන්ම නැවට ගොඩවුන දෙන්නෙක් නැවේ දුම් කවුලුව ඇතුලේ හැන්ගිලා. නැව එලියට දාපු ගමන් මේ දෙන්නා එලියට ඇවිත් පාලක මැදිරිය ලග වැටිලා.දුම් කවුළුවේ රස්නය නිසා මේ දෙන්නා හරිම අපහසුතාවයකට පත්වෙලා හිටියේ.දෙන්නම ටැන්සානියානු ජාතිකයන්.අඩු වයස්වල තරුණයෝ.අපි මේ දෙන්නා කැබින් එකකට දාලා නාන්න දීලා කෑම ඇදුම් වතුර දුන්නා.ඒක දැන් අන්තර්ජාතික නීතියක්.ඒ අයට කිසිම හින්සාවක් පීඩාවක් කරන්න අපිට බෑ.දවස් දෙකක්ම ඔවුන් අපිත් එක්ක හිටියා.තුන් පාරක් උත්සාහ  කරත් ඒ තුන් වතාවෙම ඔවුන් අහුවුණා කියලා ඒ දෙන්නා කිව්වා.නැවත වරායට ගියාම අපි මේ දෙන්නා අධිකාරීන්ට භාර දුන්නා. ජීවිතය පරදුවට තියලා ඔවුන් මේ ගමන් යන්න උත්සාහ කරන්නේ.මාන්චු දාලා ඔවුන් නැවෙන් අරන් යද්දි නම් පපුව බර වුනා සෑහෙන්න. නීති විරෝධී තමයි.ඒත් මැරුණත් කමක් නෑ කියලා ඒ වගේ රිස්ක් එකක් ගන්න උන් කොච්චර අසරණද. .

   කොන්ගෝ රටේ වරායක් තියෙනවා මටාඩි කියලා.ගග දිගේ දවස් දෙක තුනක ගමනකින් තමයි ඒ වරායට යන්න තියෙන්නෙ.ඒ ගමන අපූරුම අත්දැකීමක්.සදාහරිත කොන්ගෝ වනාන්තරය මැදින් ගලන ගංගාව දිගේයන ගමන නෙතට රසදුනක්.රථවාහන,යකඩ,දියමන්ති සහ රන් ආකරවලට ගෙනයන භාණ්ඩ අපි කොන්ගෝවට ගෙනියනවා.ඒ අතර ගෙනියන ප්‍රධාන ද්‍රව්‍ය ක් තමයි ලුණු.ලුණු වලට ඔවුන්ගේ තියෙන ඉල්ලුම කොච්චරද කිව්වොත් ඔවුන් ලුණු හොරකම් කරන්නත් පෙළඹෙනවා. දවසක් නැවට හොරෙන්ම රින්ගපු තුන්දෙනෙක් එන්ජින් කාමරයේ බොටම් ෆ්ලැට් එකේ හැන්ගිලා.උන්ගේ වෙලාවටමද කොහේද ප්‍රධාන ඉන්ජිනේරුවාගේ පෑන ඒක ඇතුලට වැටිලා.ඒක ගන්න බලනකොට මුන් තුන්දෙනා අහුවෙලා.අපේ වෙලාවට අපි කොන්ගෝ රට පහුකරලා හිටියෙ නෑ.එතනම පහලින් තව වරායක් තියෙනවා බෝමා කියලා.එතනින් අධිකාරීන්ට බාරදීලා අපි එන්න ආවා.

 මේ හොරෙන් යන අය නැවකට නගින්නෙ නැවේ ඊලග ගමනාන්තය ගැන හොදින් දැනගෙන.ඒ අයගෙ බලාපොරොත්තුව යුරෝපයට හෝ ඇමරිකාවට පැනගන්න තමයි.අපේ එක නැවකට ටැන්සානියාවේ දාර් එස් සලාම් වරායෙන් හොරෙන් එක පුද්ගලයෙක් ගොඩවෙලා තිබිලා.නැවේ ගමනාන්තය කැමරූන් රටේ ඩුවාලා වරාය.ගමන මැදදී මේ පුද්ගලයා හැන්ගුන තැනින් එලියට ඇවිත්.අපේ අය ඇහුවලු ඇයි උබ මේකට නැග්ගෙ.අපි යන්නෙ යුරෝපයේ රටකට නෙවෙයි.කැමරූන් වලට කියලා.අරූ කිව්වලු.යස් යස් අයි නෝ.මයි සිස්ටර් ඊස් දෙයා  කියලා.බලනකොට මුගෙ අක්කා කැමරූන් වල.මූ මේ හොරෙන් නැගලා තියෙන්නෙ අක්කව බලන්න නෑගම් යන්න

මාරියා

මාරියා වැඩි කරදරයක් නොකර අප පසුකර ගියාය.සිතූ තරම් ඇය දඩබ්බර වූයේ නැත.අප උපරිමයෙන් ඇය මගහැර යෑමට දැරූ උත්සාහයද සාර්ථක විය.මෙවර ගමනාන්තය වන්නේ සවුදි අරාබියේ රාස් අල් කය්යාර් වරායයි.සවුදි අරාබිය යනු බොහෝ නාවිකයන් යෑමට අකමැතිම රටකි.මට අනුව නම් අම්බ වහකි. උන්ගේ ඇත්තේ මාර නීතියකි.වෙලාවකට සිතෙන්නේ මුන් පිටසක්වලකින් වත් මේ ලෝකයට පතබෑවුනු අමුතු ජීවීන් කොටසක් බවය.
උන්ගේ රටට ගොඩබැසීමට ද අවසර නැත.සවුදියේ නෞකා ඒජන්තවරයා විසින් නැවට එවා තිබූ pre arrival notice එකේ නීති කිහිපයක් පහතින් ඇත.

 Port custom authority are very strict.vessels accommodations will be checked.kindly ensure to keep all kind of alcoholic items,all kind of video tapes,cds, dvds, camera's, pornographic magazines, pictures and calendars under the bonded stores.
Please also keep all religious tapes,articles in bonded stores.
Crew members are fined 235$ for keeping religious videos.
Penalty for alcohol/porno items as foll ;

1 46$ for each can bottle plus 540$ against vessel from 12 cans onward
2 135$ for each cassette, DVD, CD
   Plus custom handling charge 1000 $


අතේ කුරුසයක ටැටූවක් තිබූ නාවිකයෙකුට රාජකාරියකට ජැටියට යාමට අවශ්‍ය වුවත් දමාම් වරායේ නිලධාරීන් පවසා තිබුනේ ජැටියට යාමට අවශ්‍ය නම් ටැටූව මකාගෙන එන ලෙසත් නැතිනම් අත් අඩංගුවට ගන්නා බවත්ය.බුදු පිලිම හෝ කුරුස ආදිය ගුවන් තොටුපලදී රැගෙනවිත් අසුවුනහොත් එවා නතර වන්නේ කුණු බදුනේය.මගේ තවත් සගයකු පැවසූයේ වරෙක ආරක්ෂක නිලධාරීන් පැමිණ පරීක්ෂා කරද්දී කැබිනයක තිබූ බුදු පිළිමයකට අතින් පහරදී කුඩුකර තම අතද තුවාල කරගත් ආරක්ෂක භටයකු ගැනය.

  බොහෝ වරායන්වල නිලධාරීන්ට නෞකා පෙනෙන්නේ ATM යන්ත්‍ර මෙනි.කුමක් හෝ වරදක් සොයා මුදල් ගරාගැනීමට ඔවුන් අති දක්ෂයෝය.වරාය සෞඛ්‍ය නිලධාරීන් පැමින පරීක්ෂා කරන්නේ නෞකාවේ Hospital එක සහ Galley  (මුලුතැන්ගෙය )සහ ආහාර ගබඩාය. විශේෂයෙන් අප්‍රිකානු රටවල නිලධාරීන් නිවසට අවශ්‍ය කෑම බීම සියල්ල ගෙන යන්නේ නෞකාවෙනි.එයට විරුද්ධ වීමට නොහැක්කේ කුමන හෝ වරදක් සොයා fine කරන නිසාවෙනි.ගැබොන් රටේ ලිබ්රවිල් වරායේදී මැරුණු කැරපොත්තෙකු හසුවී ගැසූ දඩය 1300 $ කි.ඉන්දියානු නිලධාරීන්ද එසේමය.නැවේ බොන්ඩ් එක නොහොත් මත්පැන් සහ දුම්වැටි ගබඩාව හිස් කිරීම ඔවුන්ට සුලු වැඩකි.පාකිස්ථානයයේ මත්පැjන් තහනම් වුවත් ඔවුන්ගේ දිග කබාය ඇදගෙන පැමිනෙන නිලධාරියෙකු මත්පැන් බෝතල් 15 ක් තම සිරුරේ සගවාගෙන ඇවිද යන්නේ අපගේ ඇස් නළලත රදවමිනි. ආර්ජන්ටිනාවේ සෙන් ලොරෙන්සෝ වරායේදී නෞකාවට බඩු පැටවීමට ඇති හැකියාව නිරීක්ෂණය කරන නිලධාරීන් එය අනුමත කරන්නේ එක හැච් එකකට ඩොලර් 1000ක මුදලකටය.මා සේවය කල නෞකාවේ හැච් හතකි.ඔවුන් ලබාගත් මුදල 7000 $කි. Hatch එකක් යනු නෞකාවේ භාන්ඩ පටවන කොටසය.සින්හල වචනය නම් දන්නේ නැත.

        පගාකාරයන් ඉන්නේ ලංකාවේ පමනක් නොවේ.එය ලෝකයේ බොහෝ රටවලට පොදු දෙයකි.

අද නම් ඉවරයි වසන්ත අයියා

  රසකැවිලි,කේක්,ටී ෂර්ට්,විලවුන් බස් ‍බස්  සේවකයන්ට නිතරම ලැබෙන තිලිනයන්ය.එකම මාර්ගයේ එකවිටම පෙම්වතියන් පස් දෙනෙකු සිටි මගේ මිතුරකුට සිදුවු අතපසුවීමකින් ඔහු නතරවූයේ පොලිස් කූඩුවෙනි.

රියදුරු අසුනින් බහින්නට හිත දෙන්නේම නැත.මහ මගදී ලැබෙන සමහර අත්දැකීම් හරි අපූරුය.සමහර ඒවා මුවගට සිනහවක් නංවයි.භයානක අත්දැකීම්ද නැතුවා නොවේ.

   එකල මාගේ මිතුරෙක් සතුව ටොයෝඒස් වර්ගයේ අඩි දහයාමාර සේම් ටයර්  ලොරි
රථයක් තිබුණි. එය දබුල්ලට වෙලද ද්‍රව්‍ය ගෙනයෑමට සහ දඹුල්ලෙන් එළවළු ගෙන ඒම
සදහා භාවිතා කෙරින.රථගාය උපරිමයෙන් තිබූ ඒ අවදියේ සමහර දිනවල මමද ඒ කාර්යයේ
නිරත වූයේ දැඩි කැමැත්තෙනි.

   දඹුල්ලට වැටෙන මාර්ගයේ අතරමග කෝසුව (causeway) නමින් හදුන්වන දියපැන්නුමක්
ඇත.වැසි දිනවල ඉන් මාර්ගය හරහා වතුර ගලායෑමෙන් ගමනාගමනය අඩපන වේ.වැසි දිනක දඹුල්ලට යමින් සිටි අපට මේ ස්ථානයේ නතර වීමට සිදුවූයේ මාර්ගය හරහා යම් මට්ටමකින් ජලය ගලා ගිය නිසාය.අප සමග තවත් රථ කිහිපයක් නවතා තිබින.ඒ අතර පැමිණි ත්‍රී රෝද රථයක් ජල පහර ගනනකට වත් ගන්නේ නැතිව මාර්ගයේ ඉදිරියට ධාවනය කලේය.ජල පහරේ වේගය නිසා පාලනය කරගත නොහැකි වූ රථය අතර මගදී කෝසුවෙන් පහලට ගසාගෙන ගියේය.නවතා තිබූ රථවල සිටි සියලු දෙනා දිව ආ අතර ඒ අතරතුර ත්‍රී රෝද රථයේ සිටි දෙදෙනා එයින් පැන ඉවුරට ලගා විය.ගොඩට පැමිනි ඔවුන් දෙදෙනාට අනතුරක් වී දැයි පරීක්ෂා කරන අතර එක් අයෙකු පැවසූ දෙයකින් සියලු දෙනාගේ නළලත රැලි නැන්විය.

  "වීල් එකනම් ගියා මචං.අවුලක් නෑ හෙට උදේට ගමු.ප්‍රශ්නයක් නෑ බෝතලේ අල්ල ගත්තා ""
දෙදෙනාම මත් වී සිටි අතර මදි පාඩුවට ගත් බෝතලය රැගෙන එන ගමන් මේ සිද්ධිය සිදුවූ බව පැහැදිලි විය.පසුපස අසුනේ සිටි මගියා මෙගොඩට ආවේ බෝතලය අත නොහැරමිනි.

තම රථයට හෝ එම අනතුර ගැන හෝ වගක් නොවූ උන් උදම් වූයේ බෝතලය බේරාගැනීම ගැනය.
   එම මාර්ගය අතර මගදී පොලිස් මුරපොළක් හමුවේ.ත්‍රස්තවාදී තර්ජන උපරිමව පැවති කාලයේ සෑම රථයක්ම නවත්වා පරීක්ෂා කෙරින.දිනක් නිලධාරි මහතෙකු අත දමා රථය නැවැත් වූ අතර ඔහුට පිටුපසින් සිටි නිලධාරියා ඇසක් මදක් කුඩා කොට හිසින් යෑමට සන් කලේය.නැවත රථය ගියරයට දමා ඉදිරියට ගන්නට සැරසෙන විටම කෝප වූ නිලධාරීන් දෙදෙනා ""කොහේද #$&$ පුතෝ යන්න යන්නේ. තොට හදිස්සියක්ද"" ඇසුවේය.මදක් නැවතී බලන විට පිටුපසින් සිටි නිලධාරියා එලෙස කරන්නේ ඔහුගේ ඇති ආබාධයක් නිසා බව වැටහින.තව පොඩ්ඩෙන් සිදුවන්නේ වෙඩි කා මියයාමටය.

   පසු කලක එම ලොරි රථයෙන් භාන්ඩ පටවාගෙන අම්පාර බලා පිටත්වූ මාගේ මිතුරාගේ සොහොයුරාගේ දිවිගමන අතරමගදී නතර විය.පාරෙන් ඉවතට පැන ලොරිය වැදී තිබුනේ කොස් ගසක අඩි පහක් පමන ඉහලිනි. වේගයේ තරම ඔබට එයින්ම සිතාගත හැකි වේ යැයි විශ්වාස කරමි

.""අද නම් ඉවරයි වසන්ත අයියා ""යන්න පාරෙන් ඉවතට පනිද්දීම ඔහුගේ මුවින් පිටවූ බව අනෙත් අසුනේ සිටි සහායකයා පැවසීය.

ප්‍රයිවට් බස්

පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ පිලිබද බොහෝදෙනා තුල ඇත්තේ දැඩි අකමැත්තකි.
අධික වේගය,සේවකයන්ගේ හැසිරීම්,මග කෙටීම්,රන්ඩු සරුවල් මෙකී නොකී බොහෝ
කරුණු නිසා සමාජයේ පොදු ජනතාව අතර ඇත්තේ නොපැහැදීමකි.

   පුද්ගලික බස් වල ගමන් කිරීම යනු අපූරු අත්දැකීමක් බවයි මගේ නම් හැගීම.
විශේෂයෙන් නගරාන්තර දුරගමන් සේවා බස් රථ වල ගමන් කිරීම අපූරු පාඩම් රැසක්
අපට උගන්වයි.බස්වල බොහෝ දෙනා නොදන්නා කථා කිහිපයක් සහ මගේ අත්දැකීම්
කිහිපයක් බෙදාගන්නටයි මේ සූදානම.

  කාන්තාවන් හා බස් රථ අතර ඇත්තේ අපූරු සබඳතාවයකි. එය හොදින් පෙනී යන්නේ
බස් රියදුරන්ට සහ හිමියන්ට කාන්තා පාර්ශ්වයේ ඇති ඇගෑලුම්කම දුටු විටය.බස් රථය
තම නිවස අසලින් යන වේලාවටම නිවසේ වතුර අවසන්වී පාරේ නල ලිදට දිය ගෙන
ඒම සදහා බොහෝ තරුණියන් පැමිනේ.එමෙන්ම බසය යන වේලාවටම මිදුල ඇමදීමද,
නලාව නාද කල පසු මුහුණට නැගෙන සිනහවද අති රමණීයය.

  දිනක් රාත්‍රී බසයට පැමිණි යුවලකින් අසුනෙහි වාඩි වූයේ කාන්තාව පමනී. පිරිමියා
අප අසලට පැමින "මල්ලි මේ මගේ නෝනා.එයාව නිට්ටබුවෙන් පොඩ්ඩක් මතක් කරලා
බස්සවන්න. "කියා පිටත්ව ගියේය.බස් රථය පිටත් වී පැයකට පමණ පසුව බලනවිට
ඒ කාන්තාව අසුනෙහි අනෙත් පස සිටි තරුණයා සමග දෑත් පටලා සිටිනු දැකිය හැකිවිය.
නිට්ටබුවෙන් බසින බව කී ඇය නුවරින් බැස ගියේද ඒ තරුණයා සමගය.

  දිනක් අප වරකාපොල නගරය පසුකරනවිට අලුයම එකට පමන වන්නට ඇත.බසයේ
සිටි සෑමදෙනාම පාහේ දැඩි නින්දක ගිලී සිටියහ.එක්වරම කස පුපුරනවා වැනි හඩක් ඇසුනි
බසයේ මැද හරියේ විශාල කලබලයකි.තරුණියක් එතන සිටි තරුණයෙකුගේ කනට දැවැන්ත
ප්‍රහාරයක් එල්ල කරනු දුටුවෙමි.බසයේ වේගයද බාලවිය.ගුටි කෑ තරුණයා බසයෙන් බැස
පැන දිව්වේය.නින්දේ සිටි තරුණියකගේ පපු පෙදෙස අතගෑ ඔහුට ඒ ලැබුණු සංග්‍රහය නම්
සදාකල් මතකයේ රැදෙනු ඇත.

   මා හට අයිතිව තිබූ බස් රථයක් එකල නගරයන් දෙකක් අතර ධාවනය විය.දුර ගමන් සේවයක් නොව එය කි.මී 72ක පමන දුරක් ධාවනය වූ බස් රථයකි.රියදුරු නිවාඩු දිනවල
බසය ධාවනය කලේ මා විසින්මය.එවන් දිනයක අතරමගදී බසයටගොඩවූ තරුණියක්
මගෙන් විමසා සිටියේ "අයියේ දබුල්ල බස් එකේ මහන මැෂින් එකක් එනවා.ඒක මේ බස්
එකට දාගන්නද "කියාය.මම එයට කැමති වූ අතර ඇය ආපසු එන ගමනේදී එය ගෙනැවිත්
ගෙදර අසලින් බාගත්තාය.ඉන් පසුත් දින ගනනාවක් ඇය අපගේ බස් රථයෙන් ගමන් පහසුව
සලසා ගත්තාය.දබුල්ල බස් රථයේ රියදුරු ඉතා ප්‍රිය මනාප එකෙකි.නිතර සිනහවෙන් සිටි
ඔහුගේ බසයත් මගේ බසයත් බස් නැවතුම්පලෙන් පිටත් වන්නේ එකම වේලාවටය. සති
කිහිපයක් ඔහු නුදුටු මා එහි අනිත් රියදුරාගෙන් "කෝ බං විජේ"කියා ඇසූවිට ඔහු පවසා සිටියේ අර තරුණිය ඔහු සමග පැන ගොස් ඇති බවය.ඒ වන විට ඇය විවාහ වී සිටි අතර එක්දරු මවකි.
      මගේ කොන්දොස්තරවරයා ගේ විවාහයද සිදු වූයේ බසය නිසාමය.දිනක් අතර මගදී බසයට ගොඩවූ තරුනියක් බසයේ මැද අසුන් ගත්තාය.කි.මී 5ක පමන දුරක් ආ පසු ඇය බැස ගිය අතර ඒ කාලය තුල ගෝලයාව මම දැක්කේ නැත.ඇය බැසගිය පසු මනමාල සිනහවකින් මුව සරසාගත් ඔහුද පැමින බොනට්ටුවේ හිදගත්තේය.සතියකට පසු ඔහු මගෙන් දින දෙකක
නිවාඩුවක් ඉල්ලා ගත් අතර දෙවෙනි දවසේ උදේම දුරකථන ඇමතුමක් දී මට පැවසූවේ ඔහු
අර තරුණියව කැන්දාගෙන ආ බවත්.කසාදයට අත්සන් කරන ලෙසත්ය.අද ඔවුන් දෙදෙනා
ඉතාමත් හොදින් කුටුම්භගත වී සිටී.

බඩු ගේන ඉතාලිකාරයෝ


කිසිවෙකු අප සතු දෙයක් පැහැරගත හොත් අප පිහිට පතා යන්නේ පොලීසියටය. මේ ඒවන් කථාවකි.මෙක්සිකෝවේ කොස්ටකොලකෝස් යනුවෙන් වරාය නගරයක් ඇත.එකල මා සේවය කල නෞකාවක් එහි නැන්ගුරම් දැමුවේය. දිගු මුහුදු ගමන්වලින් පසු නාවිකයන් නෞකාව නැන්ගුරම් දැමූ රටට ගොඩබැස රටතොට සිරි නැරඹීම සාමාන්‍ය සිරිතකි.

මගේ සේවා මුරය අවසන්වී තවත් මිතුරන් සිව්දෙනෙකු සමග ගොඩබිමට පා තබන විට මදක් රෑ බෝ වී තිබුනි.මහමඟ ඇවිද මදුවිතක්ද රස බැලූ අපහට වේලාව ගතවනවා දැනුනේ නැත.පාන්දර ජාමය වන විටද මිතුරන් නෞකාවට යෑමේ අදහසක් නොවූ අතර මා තනිව නෞකාව බලා පිටත් වූයේ නැවත උදෑසන සේවාමුරය ඇති නිසාය.මා නගරයේ වීදියක ඇවිද එනවිට පොලිස් කැබ් රථයක් මා පසුකර ගියේය.එමෙන්ම නැවත හරවා පැමිණි රථය මා අසල නැවැත්විය. රථයෙන් බට නිලධාරීන් දෙදෙනෙකු මාගෙන් ප්‍රශ්න ඇසීමට පටන් ගත් අතර ඔවුන් ස්පැනිෂ් වලින් අසන දේ මට නොතේරේ.මා ඉන්ග්රීසියෙන් පවසන දේ ඔවුන්ටද නොතේරේ. ඉන්පසු ඔවුන් මා කැබ් රථයට මුහුණ ලා හේත්තුකර දෑත් ඉහලට ඔසවා පරීක්ෂා කලේ බටහිර චිත්‍රපට වල දසුනක් මවාපාමිනි.

     පිටුපස සාක්කුවට අතදමා පසුම්බිය ගත් ඔවුන් එය රථයේ රියදුරාට ලබා දුන් පසු ඔහු එහි තිබූ දේ පරීක්ෂා කිරීමට පටන් ගත්තේය.එය පරීක්ෂා කල ඔවුන් නැවත පසුම්බිය මා අතට ලබා දී රථයේ නැගී නික්ම ගියෝය.පසුම්බියේ තිබූ 200$ ඔවුන් පැහැරගෙන තිබින.වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසන් ඒ අවනඩුව සිතමින් නෞකාවට ආවේ නැවත කිසි දිනක රාත්‍රී තනිවම නොදන්නා නගරවල ඇවිදින්නට නොයෑමට සපථ කරගනිමිනි.

නාවික ජීවිතයේදී අපහට මහසයුරෙන් කරදරයක් වී නොමැත.පාඩු අලාභ සිදුකරන්නේ ගොඩබිමදී මුණගැසෙන මිනිසුන්ය.මෙම වසරේ අප්‍රේල් මස සිට ශ්‍රී ලංකා ධජය යටතේ යාත්‍රා කරන නෞකාවල නාවිකයන්ගේ වැටුප මත බද්ධක් පනවා ඇත.ශ්‍රී ලාන්කික නාවිකයන් යනු තම පුද්ගලික මුදලින් ඉගෙනගෙන බොහෝ විශාල විදේශ විනිමයක් රටට පොම්ප කරන ව්ර්තිකයන්ය.නමුත් ඒ වෙනුවෙන් රටෙන් කිසිම පහසුකමක් ඔවුනට හිමිවන්නේ නැත.කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙන්නේද නැත.වසරේ සේවය කරන මාස කිහිපය තුල උපයන මුදල නිවාඩුව ගත කරන කාලයටද වියදම සදහා ඉතිරි කරගත යුතුය.ඒ අතර තුර රජයට විවිධාකාරයෙන් මුදල්ද ගෙවිය යුතුය.බදු ගෙවිය යුතුය. ඒ ගැන තර්කයක් නැත.නමුත් ගෙවන බදු මුදලින් රටට සේවයක් විය යුතුය.දේශපාලුවන්ගේ සුඛ විහරනයට ජනතා මුදල් භාවිතා කරන රටක ඔවුන් වෙනුවෙන් බදු ගෙවීමට මාගේ නම් කැමැත්තක් නැත.

    කියන්නට ගිය කථාවද නවතා මේ කථාව ඔබට කීවේ භාවිතා කරන සෑම දෙයටම බදු ගසා උපයන වේතනයටත් බදු ගසන රජය ගැන උපන් පිළිකුල සහ ආවේගය නිසාය.

   චිලී දේශයේ කොර්නෙල් වරායේ සිට ඉතාලියේ නාපොලි නගරයට අප සේන්දු වූයේ මැගලන් සමුද්‍ර සන්දිය හරහා දින 30ක ගමනකින් පසුවය.නෞකාවේ පටවා තිබුනේ කඩදාසි සෑදීමට භාවිතා කරන "වුඩ්පල්ප් "ය.නෞකාව වරායේ ගැටගැසූ දින රාත්‍රියේ අප කිහිපදෙනෙක් නගරයට ගියේ නෞකාවේ සේවය කල මගේ මිතුරකුගේ සොහොයුරෙකු මුනගැසීමටය.ඔහු සිටි නිවසේ තවත් ලාන්කිකයන් කිහිපදෙනෙක් නවාතැන් ගෙන සිටි අතර ඒ අතර සිටි මුස්ලිම් තරුණයෙකු අපහට උපදෙසක් ලබා දුන්නේය.

""මච්චාන් යේක මේ ඉතාලි උන් නැවට බඩු ගෙනෙයි විකුණන්න. යේක බෝල්පොයින්ට් පෑනක තරම් වත් දෙයක් ගන්නෙපා මචාන් මුන් ලෝක හොරු ""

ඔහු දුන් උපදෙස අප නෞකාවට පැමින අනිත් සේවක මඩුල්ලටද ලබා දුන්නෙමු.පසුදින පැමිනි වෙලදුන් දෙදෙනෙකු අයිපෝනයක්,කැමරාවක් සහ අයිපෑඩයක් විකිණීමට ඇති බැව් දැනුම් දී ඇති අතර අපගේ එක් ලාන්කික සේවකයෙකු මේ භාන්ඩ පරීක්ෂා කර ඇත.ඒ සියල්ල ඉතා හොද තත්වයෙන් පවතින බව තහවුරු කරගත් ඔහු මිලගනන් පිලිබදව කථා කරගෙන ඇත.සාමාන්‍යයෙන් යුරෝ දහසකට අධික වටිනාකමක් තිබුනත් ඔවුන් ඒවා යුරෝ හයසියයකට ලබාදීමට කැමැති වී ඇත.මේ භාණ්ඩ තුනම පසුම්බියක බහා තිබූ අතර අප මිතුරා මුදල් ලබාදීමෙන් පසු පසුම්බිය ලබාදුන් වෙළෙන්දන් දෙදෙනා නික්ම ගොස් තිබින.
මිතුරා පසුම්බිය ඇරීමට උත්සාහ දරද්දී ෂිපරය ඇරීමට දැඩි අපහසුවක් දැනී බලනවිට නිරීක්ෂණය වී ඇත්තේ ෂිපරය ඇරීම ආරම්භ වන තැන අඩුවක් මගින් හානිකර ඇති ආකාරයයි.අමාරුවෙන් විවරකරගත් පසුම්බිය තුල තිබුනේ ඉතාමත් හොදින් පැක්කර තිබූ ගඩොල් කැබලි තුනකි.එකවාගේ පසුම්බි දෙකක් ලගතබාගෙන ඔවුන් මේ වංචාව සිදුකර තිබින.දිගු ශිත කබා පැලදසිටි ඔවුන් මුදල් ලබාදෙන අතරවාරයේ ක්ෂණිකව පසුම්බි දෙක මාරුකර තිබේ.අදටත් ඉදහිටක මැසෙන්ජරයෙන් ඔහු අමතා"" කෝමද මචං තවම ඉතලි වලින් ගත්ත අයිපෝන් එකද යූස් කරන්නේ යනුවෙන් අසා පිලිතුරු ලෙස කුණුහබ්බ දෙකක් අසා ගැනීමට මා අමතක කරන්නේ නැත..😀😀