Friday, October 29, 2021

කවි

ජංගි පොඩ්ඩත් ඉනෙන් ගැලවී පුක පේන්නට හැලුන කාලේ
තාත්තා උඩුබැලිව හිටියා පෙට්ටියක ගේ මැද්දෙ සාලේ
හතයි මට බොට තුනයි නංගියෙ තාම රිද්දන අපේ බාලේ
තනුව වැරදිලු අපේ ජීවිත ගැහුවෙ කරුමෙට ඕන තාලේ

ගෙටවෙද්දි දෙන්නට අනේ අම්මට තිබුනෙ නෑ බං රනින් මාලේ

කහ ගැහෙනකොට තාත්තගෙ රූපෙට පලන්දපු සුදු පාට මල් පෙති
අම්මා හිනැහෙන එකම රූපෙට දාපු මල් පෙති සුදට දිලිසෙති
දත් නොදත් උන් තාම ඉඳහිට යනෙන විට ගෙට ගොඩවෙලා යති
නොයෙක් කරදර ගොඩක් අතරේ උඹ දුරක ගොස් මම දැක්කෙ නැති

කලා සොලොසම සපුරලා සඳ හා පැටියෙකුත් එක්ක එන්නැති


කිව්වනං අයියට ඉතින් පොඩ්ඩියෙ යන්තමට හරි උගේ නම ගම
උන් තැනක හිඳ අරන් ඇවිදින් බලෙන් හරි බන්දනවා උඹ මම
මාස හතරක් වෙලා යනකං හොරෙන් මට ඒ හැංගු වත්කම
කියා ගන්නට බැරි උනේ ඇයි අදයි උඹෙ හත් දොහේ පිංකම

වැරදිලා ගොස් හඳත් මැකිලා හාවා එලවන තැනක සැත්කම

2 comments:

  1. සුලබ තේමාවක් වුවද කම්පනයක් ජනික කරවන ආකාරයෙන් ඉදිරිපත් වී ඇත.

    ReplyDelete