Sunday, August 6, 2023

නැව් කථා 7

නාවිකයන් අතර ප්‍රචලිත කථාවක් ඇත.ඒ three "B " වල කරක්ගසා නැතිනම් ඔහු නියම නාවිකයකු නොවේ "යන්නය. මේ "3 B "යනු ලෝකයේ ප්‍රධාන තැන් තුනකි.ඒවා නම්

#බොම්බාය
#බැන්කොක් සහ
# බ්‍රසීලය වේ.

පෙර කල නාවිකයන් දැඩි ලෙස විනෝදයට බර වූවන් විය.මේ ස්ථාන තුනම එකල නාවිකයන්හට විනෝද වීමට තිබූ හොදම ස්ථාන විය.මේ කථාව ගොඩ නැගුනේ ඒ නිසා විය යුතුය.නමුත් දැන් නාවිකයන් ඉතාමත් හොද විනයක් සහිතව මෙන්ම පැහැදිලි ජීවිත සැලසුමකින් රැකියාව කරන නිසා ඒ  ජීවිතය වත්මන් නාවිකයන් තුල දක්නට නැතිවීම සතුටට හේතුවකි.

මා මේ ස්ථාන තුන අතරින් බ්‍රසීලයේ දී විදි අත්දැකීම් කිහිපයක් අකුරු කරන්නට සිතුවේ දිගු කලකින් නැව් කථාවක් සමූහයේ පල නොකල නිසාවෙනි.

බ්‍රසීලයේ දී මා ලද සුන්දරම අත්දැකීම වනුයේ ඇමසන් ගංගාව දිගේ රට තුල පිහිටි වරායකට ගිය ගමන් කිහිපයයි.රට තුල පිහිටි " මුංගුබා " නම් වරායට අප ගියේ කෙවොලින් නම් භාණ්ඩ වර්ගය පැටවීම සදහාය.එය ගග දිගේ දින තුනක පමණ ගමනක් වූ අතර ඒ ගමන අතර මග දෙපස වූයේ සදාහරිත ඇමසෝන් වැසි වනාන්තරයයි.අතරින් පතර කුඩා ගම්මාන හමුවූ අතර ගම්වැසි පිරිමින් කාන්තාවන් සහ කුඩා ලමුන්ද කුඩා බෝට්ටු වලින් නෞකාව ආසන්නයට පැමිණියේ නෞකාවෙන් යම් යම් දේවල් ලබා ගැනීමටය.අපද ආහාර,හිස් තීන්ත බැරල්,කෑන් ආදිය වතුරට විසි කල අතර ඔවුන් ඒවා රැගෙන අත වනා අචාර කොට ඉවතට යාත්‍රා කලෝය.
මුංගුබා යනු එක ජැටියකින් සමන්විත ඉතා කුඩා වරායකි. ජැටිය පැත්තේ නොව ගගේ අනිත් ඉවුරේ ගම්මානය පිහිටා තිබුණි. හවස් යාමයේ අප ගම නැරඹීමට පිටත් වූයේ බෝට්ටුවකිනි.ඒ ගම්මානය අපූරු ගම්මානයකි.ගගට වන්නට ලී කොටන් සිටවා ඒ මත ගම්මානය ගොඩ නගා තිබුනි.පාර තනා තිබුනේද ලි කොට සිටවා ඒ මත ලෑලි සවිකිරීමෙනි. ලොව පුරා ඇවිද ඇතත් එවන් අපූරු ගම්මානයක් කිසිදා මා දැක නැත.මැදියම් වන තුරුම අප ගමේ තිබූ අවන්හලකින් ආහාර සහ බීර පානය කරමින් ගම් වැසියන් සමග අල්ලාප සල්ලාපයේ යෙදීමට ඒ දින කිහිපයේ හුරු වූවෙමු. දින කිහිපයකට පසු අප වරායෙන් පිටත්වන මොහොතේ ගම්වැසියන් බොහෝදෙනෙකු ඉවුරට පැමිණ අත වනා අප හට සමු දෙන්නට තරම් ඔවුන් අප හා ලෙන්ගතු විය.

නමුත් ඇමසන් ගංගාව අත්ලාන්තික් සාගරය හා එක්වන ප්‍රදේශය ආසන්නයේ ඇති තවත් වරායකදී අප ලැබූයේ වෙනස්ම අත්දැකීමකි." විලා ඩි කොන්ති "නම් එම වරායට පිවිසීමට පෙර නෞකාව වරාය ආසන්න මුහුදේ නැංගුරම් දමා තිබුනේ නෞකාවට පැටවීමට තිබූ භාණ්ඩ සූදානම් වන තුරුය.රාත්‍රී කාලයේ. හොර රහසේම නෞකාවට ලංකල බෝට්ටුවක සිටි හොරු රංචුවක් නෞකාවට ගොඩවී නෞකාවේ තීන්ත කාමරය බිද ඒ තුල තිබූ තීන්ත බදුන් විශාල ප්‍රමාණයක් පැහැර ගත්තෝය.මැරයින් පේන්ට් යනු ඉහල වටිනාකමක් ඇති තීන්තය. ඉන් සමාගමට සිදුවූයේ සැලකියයුතු පාඩුවකි.පසු දිනක ගොඩබිමට ගිය විට ගම් වැසියන් සමහරක් අපගෙන් විමසා සිටියේ නුඹලාගේ නැවට සොරුන් ගොඩවී තීන්ත පැහැර ගත්තා නේද යන්නය..පසුව දැනගත් පරිදි එය එම වරාය ආශ්‍රිතව නිරතුරුව සිදුවන දෙයක් බවය.
එම වරායේදීම මා සමග එක් පිලීපීන ජාතික අවන්හල් හිමිකරුවෙක් මා සමග දැඩි ලෙස හිතවත් විය.නෞකාව පිටවීමට පෙර ඔහු මට අපූරු යෝජනාවක් ගෙනාවේය.එය නම් ඔහු ලබා දෙන පාර්සලයක් බෙල්ජියමේ ඇන්ට්වර්ප් වරාය වෙත ගෙනගොස් දෙන ලෙසය.ඇන්ට්වර්ප් වලදී කිසිවෙකු පැමිණ මා ගෙන් එම පාර්සලය ලබාගනු ඇති බවටත් ඒ වෙනුවෙන් විසල් මුදලක් මට ලබා දෙන බවටත්ය. එවර අපගේ ගමනාන්තය වූයේ බෙල්ජියමේ ඇන්ට්වර්ප් වරායයි. මා ඒ යෝජනාව සැනින් ප්‍රතික්ෂේප කලේ පාර්සලයේ ඇති දෑ ගැන මනා වැටහීමක් තිබූ නිසාය..

ඔබ බොහෝ නෞකා දැක ඇත.ඒ අතර කන්ටේනර් ,මගී ප්‍රවාහන, තෙල් නෞකා මෙන්ම භාණ්ඩ ප්‍රවාහන නෞකාද දැක ඇතැයි සිතමි.නමුත් මස් පිණිස ගන්නා සතුන් ප්‍රවාහනය කරන නෞකා ඔබට නුහුරු දසුනක් වනවා ඇතැයි සිතමි.මස් පිණිස හරක්,බැටළුවන් සහ එළුවන් නෞකා මගින් ( Livestock careares ) බොහෝ රටවලට ප්‍රවාහනය කෙරේ.විශේෂයෙන් මැද පෙරදිගට සතුන් ප්‍රවාහනය කරන්නේ මේ නෞකා මගිනි.මෙම සතුන් නැව්ගත කරන ප්‍රධාන රටක් වන්නේ බ්‍රසීලය යි.මේ සිදුවීම සිදුවූයේ "අරටු "නම් වරායේදීය. අප නවතා තිබූ ජැටියේම අනිත් පස ගැටගසා තිබුනේ කැට්ල් කැරියරයකි.ට්‍රක් රථවල පටවාගෙන පැමිනෙණ හරකුන් පාලමක් ආධාරයෙන් නැවට පටවමින් තිබිණ. මරණ බය දැනෙන නිසාදෝ ගවයන් පසුපසට ඇදෙන විට විදුලි සැර වැද්දවීමේ හැකියාව ඇති දිග රිටක් වැනි යමකින් ගවයන්ට විදුලි සැරයක් වද්දවා බියපත් කොට ඔවුන්ව නෞකාවට ගොඩවීමට සලස්වයි.යම් අතපසු වීමකින් දැවැන්ත ගවයන් දෙදෙනෙකු පාලමෙන් පැන ජැටියට පැනගත්තෝය.ඔවුන් දිවි බේරා ගැනීභට ජැටිය පුරා දිවූ අතර මිනිසුන් උන් දෙන්නා අල්ලාගැනීමට වෙර දැරූහ.දෙපසකින් නෞකා දෙකත් අනිත් පසින් මුහුදත් තිබූ අතර ඔවුන්ට පැන යාමට තිබුනේ ජැටියේ එක් පැත්තක් පමණි.ඒ පැත්ත ට්‍රක් රථ දෙකක් යොදා හරස් කල අතර ගවයින් දෙදෙනා කොටුවිය. නමුත් උන් සටන අත ඇරියේ නැත.දැවැන්තයින් දෙදෙනෙකු වු ඔවුන් අනින්නට පනිමින්ද වේගයෙන් දිවයමින්ද තම ජීවිතය සදහා අවසානය තෙක් සටන් වැදුනෝය.අවසන බැකෝ යන්ත්‍රයක් මගින් උන් එකා බැගින් හිරකොට වෙර යොදා නෞකාවට පැටෙව්වේය. පසුව ආරන්චි වූයේ එම ගවයන් දෙදෙනා එසැනින් මරා දමා මස් නෞකාවේ කාර්යමණ්ඩලයට භාවිතයට ගත් බවකි.සිරියානු සහ ලෙබනන් ජාතික එම නාවිකයන් කිහිප දෙනෙකුම මට මුණගැසුණු අතර ඔවුන් ලගින් හැමූ ලේ මිශ්‍ර අමුතු ගන්ධය මට ගෙන ආවේ අපුලකි.තම ජීවිතය සදහා සටන් වැදුනු ගවයන් දෙදෙනා අදද මසිතට ගෙන එන්නේ ශෝකයකි.

බ්‍රසීලයේ දී මා හට ලැබුනු තවත් අපූරු අවස්ථා කිහිපයක් නම්. රියෝ දි ජැනෙයිරෝ නගරයේ පිහිටා ඇති ලොව පරසිදු ක්‍රිස්තුස් වහන්සේගේ පිලිමය දැක බලා ගැනීමට හැකිවීම සහ අලංකාරම වෙරලක් වූ කෝපා කබානා වෙරල දැක ගැනීමය.එමෙන්ම රියෝ හිදීම අතිශය විරල අවස්ථාවක් අපහට උදා වූ අතර ඒ ලොව පරසිදු බ්‍රසීල ""කර්නිවාල් ""
සැනකෙලිය දෑසින් දැකගැනීමට ලැබුනු අපූරු අවස්ථාවයි.

අප තවමත් ජෝර්දානයේ අඛබා වරායේ රැදී සිටින අතර ඊලග ගමනාන්තය වන්නේ ඉන්දියාවේ කණ්ඩලා වරායයි.ගාන්ධිවරුන් උපන් භූමිය ලෙස සැලකෙන එම ප්‍රාන්තයේ ලාංකික නාවිකයන්හට ගොඩබිමට බැසීමට අවසර නැත.ඒ රාජිව් ගාන්ධි අගමැතිවරයාට තුවක්කු බදෙන් පහරදීමේ සිදුවීමට ඔවුන් ලාංකිකයන් වෙත දැක්වු ප්‍රතිචාරයයි. එමෙන්ම අඛබා වරාය ගැනද යමක් නොලියා බැරිය.ඒ ඊජිප්තු, ඊශ්‍රායෙලයේ, සවුදිය සහ ජෝර්දාන් යන රටවල් හතරේම දේශසීමා එක තැන සිට බලාගත හැකිවීමය.ලොව වෙනත් තැනකදී මෙවන් දසුනක් දැකගැනීමට හැකියැයි මා සිතන්නේ නැත.

මතු දිනයක හමුවෙමු.ඔබට ජය
ධම්මික පෙරේරා @ අඛබා.ජෝර්දාන්.

1 livestock carrier
2 vessel in munguba port
3 underway in river
4 carnival
5 christ the redeemer rio de janeiro

7 comments:

  1. අගනා තොරතුරු ටිකක් බෙදා ගත්තට ස්තුතියි.
    අර හරක් දෙන්නට උනේ ආයුධ පෙන්නන්න ගියා වගේ සීන් එකක්.

    ReplyDelete
    Replies
    1. ස්තූති ඔබටත්. .හරක් උනේ ඒ වගේ දෙයක් තමයි

      Delete
  2. නියමයි දිගටම ලියමු.

    ReplyDelete
  3. ෂහ්.. නියමයි.. ලෝකෙම දකින නාවිකයන්ට කියන්න කොච්චර කතා ඇතිද ? ලාංකිකයන්ට ගොඩ බහින්න බැරි කතාව අදයි දැන ගත්තේ..

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ බොහො තැන්වල අපිට ගොඩබහින්න බෑ දැන්.ස්තූති

      Delete