Friday, October 5, 2018

අප්‍රිකා මතක

## නැව් කථා 08 ## අප්‍රිකානු මතක

අප්‍රිකාව. .ඒ අපූරු භූමිය.නාවිකයෙකු ලෙස ලොව හතර අතේ ඇවිද ඇති මට ලොව අන් රටවල් වලට වඩා අපූර්වත්වයක් ඇති මහාද්වීපයයි.ඒ අපූර්වත්වය ඇත්තේ භූමියේ ඇති විවිධත්වය සහ මිනිසුන්ගේ හැගීම් වල විය යුතුය.ලොව අන් කිසිම තැනකදී නොවිදි අතීදැකීම් මා අප්‍රිකාව තුලදී අත්විද ඇත.සහෝදර නාවිකයන් විදි අත්දැකීම් අසා ඇත.ලිවිය හැකි අත්දැකීම් පමණ මෙන් කිහිප ගුණයක් නොලිවිය හැකි අත්දැකීම්ය.😀
       ලොව මා දැක ඇති සුන්දරම තැන කුමක්දැයි යමෙකු ඇසුවහොත් මාගේ පිළිතුර වනු ඇත්තේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරය යන්නයි.නගරය පරයා නැගී සිටින මහ කඳුවැටිය ( TABLE MOUNTAIN )දෙනෙතට සිතට දනවන්නේ අපූර්වතම හැගීමකි.දේශගුණය ඉතා සිසිල්ය.මීදුම් වෙලාවට කදු වැටියේ සිට ගලා හැලෙන මිහිදුම මතකයට ගෙනෙන්නේ නයගරා ඇල්ලයි.එවකට මා සේවය කල නෞකාවක ගමන් මග වූයේ දකුණු අප්‍රිකාව සහ අප්‍රිකාවේ බටහිර තීරයේ රටවල් කිහිපයක් අතරයි.දකුණු අප්‍රිකාවේ රිචර්ඩ්ස් බේ,ඩර්බන් සහ කේප් ටවුන් වරායන් ආශ්‍රිතව බඩු පටවාගන්නා අපේ ඊලග නැවතුම්පලවල් වන්නේ නැමීබියාවේ වොල්විස් බේ වරායත් ඇන්ගෝලාවේ නැමීබ් සහ පොයින්ට් නෝර් වරායනුත්, කොන්ගෝවේ බෝමා සහ මටාඩි වරායවලුත් ඉන්පසු ගැබොන් රටේ ලිබ්රවිල් සහ තවත් වරායකුත් ඉක්වේටර් ගිනියා රටේ බාටා වරායත් අවසාන වරාය ලෙස කැමරූන් රටේ ඩුවාලා වරායත්ය. කැමරූන් වලින් ලී කදන් පටවාගන්නා අප නැවත කේප්ටවුන් වෙතලගා වන විට සම්පූර්ණ ගමනටම දින හතලිස්පහක් ගතවේ.දුරකථන පහසුකම් ඉතා අල්පව තිබූ එකල අප කේප්ටවුන් වෙත එන විට දැඩි සතුටකින් පසුවන්නේ ලංකාවෙන් එන සියලු ලියුම් කේප් ටවුන් සීමන් මිෂන් එකට එවා තිබීම නිසාය.

   දිනක් සේවා නිමවී හවස් වරුවක අප මිතුරන් කිහිප දෙනෙකු ඩර්බන් නගරය වෙත යෑමේ අදිටනින් පා ගමනින් මාර්ගය දිගේ ඇවිද ආවෙමු.වේගයෙන් අප පසුකරගෙන ගිය කැබ් රථයක් එය නවතා රිවස් කර අප අසලට පැමිණ නැවැත්විය.කොහේද යන්නේ සහ අපගේ රට විමසූ ඔහු ඉන්දීය සම්භවයක් ඇති අප්‍රිකානු වෙකි.අපගේ ඉන්දීය පෙනුම නිසා රථය නැවැත්වූ බව පැවසූ ඔහු අපට උපදෙස් දුන්නේ ඩර්බන් යනු පිටරැටියන්ට පා ගමනින් යෑමට තරම් ආරක්ෂාකාරී නගරයක් නොවන බවත් ටැක්සියක් කැඳවා අපගේ ගමන් පහසුව සලසා ගන්නා ලෙසත්ය.දුම් වැටියක් සදහා පවා මිනී මැරීමට වුවද මෙහි සමහරුන් පසුබට නොවන බව පැවසූ ඔහු නික්ම ගියේ පරිස්සම් වෙන ලෙස අවවාද කරමිනි.ඉන් පසු නිතර කුලී රියකින් ගමන් පහසුව සලසා ගැනීමට අප හුරු වූයෙමු
    අප සමග සේවය කල ඔයිලර් කෙනෙක් දිනක් තනිවම දකුණු අප්‍රිකාවේ පෝට් එළිසබෙත් වරායෙන් එලියට ගියේය.නෞකාව පිටත් වන මොහොත ලගා වුවත් ඔහු නැවත පැමිණියේ නැත.නෞකා නියෝජිතයාටද දන්වා ඔහු පිලිබදව සොයා බැලූවත් ඔහු පිලිබද ආරන්චියක් නොවීය.නෞකාව පිටත් වන වෙලාව පැමිණියෙන් අප පිටත් විය.අපගේ මීලග වරාය වූවේ දකුණු අප්‍රිකාවේ ම රිචර්ඩ්ස් බේ වරායයි.එයට ලගා වීමට අප හට දින තුනක් පමණ ගතවූයේ මේ ආශ්‍රිත මුහුද නිතරම රලු වීම නිසාය.වරායට පැමිණි පසු අප හට ඔහු පිලිබද නිසි තොරතුරක් ලැබුණි.ඔහු සිටියේ රෝහල් ගතවය. තනිව එලියට ගිය ඔහු හොරුන් කිහිප දෙනෙකුට මැදිවී ඇත.ඔහුට දරුණූ ලෙස පහරදී ඔහු සතු සියලුම දෑ හොරුන් මංකොල්ල කා තිබිණ,ඔහු ඇද සිටි කමිසය සහ කලිසම පවා ඔවුන් රැගෙන ගොස් ඇත.පැය කිහිපක් මහමග වැටී සිටි ඔහු පොලිස් රථයකින් දැක රෝහල් ගත කර ඇත.පසුව නියෝජිතයකු මාර්ගයෙන් ඔහු ලංකාවට එවීය.පසුව ඔහු රෝහලේ සිටියදී ගත් සේයා රූ කිහිපයක් නෞකාවට ලැබිණ. කොතරම් දරුණු ලෙස ඔහු පහර කා ඇත්දැයි කිවහොත් අප කිසිවෙකුටත් ඔහුව හදුනාගත නොහැකි විය.
     මොසැම්බික් රටේ මපුතෝ වරායෙන් අප එලියට ගියේ යම් යම් දේ මිලදී ගැනීම සදහාය.මිතුරන් කිහිප දෙනෙකු සහ මා සාප්පු සංකීරණයක ඇවිද යම් යම් දේවල් මිලදී ගත්තෙමු.මිලදී ගත් දේ කුලී රථයේ තබා අප අවන්හලකට ගොඩවැදුනේ දේශීය බියරයක් රස බැලීමේ අරමුනෙණි.කුලී රථය ලෙස අප කථා කරගත්තේ වරාය සේවකයකු සතු රථයක් නිසා ඔහුටද අප ආරාධනා කලේ අප සමග එන ලෙසටය.පැයක් පමණ අවන්හලේ ගතකල අප නැවත රථයට ආවේ නෞකාව බලා පිටත්වීමේ අරමුණෙනි. රථයට පැමිණ බලන විට අප මිලදී ගත් භාණ්ඩ කිසිවක් රථයේ නොවීය.කිසිවෙකු රථයේ අගුළු ඇර සියල්ල සොරාගෙනය. මෙයට රියදුරාද සම්බන්ධ ඇතැයි සිතූ අප ඔහුට දොස්පැවරූවත් කදුලු සලමින් ඔහු අපට පැවසුවේ ඔහු කිසිත් නොදන්නා බවත්,ඔහු පිලිබද සැකයක් ඇත්නම් කුලී ගාස්තුවද ඔහුට අනවශ්‍ය බවත්ය.කුලිය ගෙවූ අප එකිනෙකාට සිනහවෙමින් නෞකාවට ගොඩවූයේ නැතිවූ බඩු බොහෝ වටිනා දේ නොවූ නිසාවෙනි.
    නැව් කථාවක් ලියන්නට සිතා නොසිටියත් කණ්ඩාගේ ඉල්ලීම නිසා ලියන්නට සිත්විය.ලිවීමට තව බොහෝ දේ ඇතත් නවතින්නේ කම්මැලිකම බොහෝ වේලාවක සිට කණෙන් අදිමින් සයනයේ ඇති සුව පහසුව මතක් කරන නිසාය..කියවූ සැමට ස්තූතී.
Dammika perera @ Dammam port.
   
   

8 comments:

  1. මරු...දකුණු අප්‍රිකාව කියන්නේ අනිත් අප්‍රිකානු රටවලට වඩා දියුණු රටක් නේද? එහෙත් මෙහෙමනම් ඉතිං අනිත් ඒවට බහින්නත් බැරිව ඇති...

    ReplyDelete
  2. ලංකාවෙ හොරු හොඳයි බලාගෙන යනකොට. හැක්..

    ReplyDelete
  3. දකුණු අෆ්‍රිකාව හා කෙන්යාව යනු හොර ගුහා දෙකක් බවත් ඉතියෝපියානු රේගුව අපේ රේගුවටත් අන්ත හොරුන්ගෙන් පිරී ඇති බවත් අසා තියෙනවා. ඒ ඇත්තද?

    ReplyDelete
    Replies
    1. අපේ අය කවද්ද කාටවත් දෙවැනි වුනේ..?😜

      Delete
  4. නැවාගේ කතා හරිම රසවත්.ලෝකය,මිනිස්සු ගැන ඔබ ලියන දේ කියවීම සතුටක් !ඉතියෝපියාව අද වෙනස් රටක් නේද?දියුණුව කරායන විනයක් ඇති දේශයක් බවට පත්වෙමින් තියෙනවා නේද ?සංචාරය මා නම් ඉතාම ප්‍රිය කරන දේ.

    ReplyDelete
  5. උඹ බ්ලොග් එක අප්ඩේට් කරන එක මරු මචං

    ReplyDelete
  6. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete